අපේ මහන්සියට වඩා සමහර වෙලාවට වාසනාව සාර්ථකත්වයට බලපාන හැටි.
ඔයා මොහොතකට හිතලා බලන්න, මේ ලෝකේ ඉන්න ගොඩක්ම සාර්ථක වුණු, කෝටිපති ව්‍යාපාරිකයෙක් හරි ප්‍රසිද්ධ චරිතයක් හරි ගැන. අපි හැමෝම හිතාගෙන ඉන්නේ එයාලා ඒ තැනට ආවේ 100% ක්ම එයාලගේ තියෙන අසීමිත මහන්සිය, කැපවීම සහ දක්ෂතාවය නිසාමයි කියලා නේද? අපි උත්සාහ කරන්නේ එයාලා කරපු දේවල් ඒ විදිහටම කොපි කරලා එයාලා වගේම සාර්ථක වෙන්න.
හැබැයි මෝර්ගන් හවුසල් මේ පොතෙන් අපේ ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. එයා කියනවා, "ජීවිතේ කිසිම දෙයක් පේන තරම් හොඳත් නැහැ, පේන තරම් නරකත් නැහැ" කියලා. ඒකට හේතුව තමයි 'වාසනාව' (Luck) සහ 'අවදානම' (Risk) කියන කාරණා දෙක.
මේක හරියට සහෝදරයෝ දෙන්නෙක් වගේ. මේ ලෝකේ බිලියන 8ක් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්, ලෝක ආර්ථිකය, ස්වභාවධර්මය මේ ඔක්කොම එකට බැඳිලයි තියෙන්නේ. ඒ වගේ සංකීර්ණ ලෝකෙක, ඔයා ගන්න උත්සාහය 100% ක්ම ඔයාගේ ප්‍රතිඵලය තීරණය කරනවා කියන එක කවදාවත් වෙන්න බැරි දෙයක්. ඔයාගේ පාලනයෙන් තොරව සිද්ධ වෙන දේවල්, ඔයාගේ පාලනයේ තියෙන දේවල් වලට වඩා ඔයාගේ අනාගතයට බලපානවා.
හිතන්න ඔයා හොඳටම මහන්සි වෙලා, ලොකු ප්ලෑන් එකක් ගහලා, ලෝන් එකකුත් අරන් අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා. ඔයාගේ පැත්තෙන් ඔයා 100% ක් හරි. හැබැයි ඔයා බිස්නස් එක පටන් ගත්තු දවසෙම රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් එනවා, එහෙමත් නැත්නම් කොරෝනා වගේ ලෝක වසංගතයක් එනවා. එතකොට ඔයාගේ බිස්නස් එක කඩාගෙන වැටුණොත් ඔයා අසාර්ථක වෙන්නේ ඔයාගේ කම්මැලිකමකින් හරි, ඔයාගේ වැරැද්දකින්ද? නැහැ, ඒක තමයි 'අවදානම' (Risk). ඔයාට පාලනය කරන්න බැරි බලවේගයක් ඇවිත් ඔයාගේ මහන්සිය යටපත් කරලා දැම්මා.
එහෙනම්, ඒකේ අනිත් පැත්තත් ඇත්ත වෙන්න ඕනෙනේ?
ඔයා සාමාන්‍ය විදිහට කරන බිස්නස් එකක්, හදිසියේම රටේ වෙනස් වෙන නීතියක් නිසා හරි, අලුත් ට්‍රෙන්ඩ් එකක් (Trend) නිසා හරි, එහෙමත් නැත්නම් ඔයාට අහම්බෙන් හම්බවෙන වැදගත් කෙනෙක් නිසා හරි එකපාරටම හිතුවෙවත් නැති විදිහට සාර්ථක වෙන්න පුළුවන්. ඒක තමයි 'වාසනාව' (Luck). එතනදි ඔයා අනිත් අයට වඩා මහන්සි වුණා නෙවෙයි, ඔයා හිටපු තැන සහ වෙලාව හරියටම හරි ගියා.
අපිට තියෙන ලොකුම ප්රශ්නය තමයි, අපි මේ 'වාසනාව' කියන සාධකය පිළිගන්න කොහෙත්ම කැමති නැහැ.
- අපි සාර්ථක වුණාම, අපි කැඩපත ඉස්සරහට ගිහින් කියනවා "මම රෑ දවල් නැතුව මහන්සි වුණු නිසයි මට මේක ලැබුණේ. මම අනිත් අයට වඩා දක්ෂයි" කියලා.
- හැබැයි අපි අසාර්ථක වුණාම, අපි කියන්නේ "මට වාසනාවක් නැහැ, රටේ තත්ත්වය නරකයි, ආණ්ඩුවෙන් සපෝට් එකක් නැහැ" කියලා බාහිර දේවල් වලට බණිනවා.
අනිත් අය දිහා බලද්දිත් එහෙමයි. වෙන කෙනෙක් අසාර්ථක වෙද්දී අපි කියනවා "එයා හරියට ප්ලෑන් කළේ නෑ, එයා කම්මැලියි" කියලා (අපි එතනදි අවදානම අමතක කරනවා). ඒ වගේම වෙන කෙනෙක් සාර්ථක වෙද්දී අපි කියනවා "ඌට නම් මාර ලක් එකක් තියෙන්නේ, ඌ ඉපදුණේ පෝසත් පවුලකනේ" කියලා (අපි එතනදි එයාගේ මහන්සිය අමතක කරනවා).
මෝර්ගන් හවුසල් අපිට දෙන ලොකුම පාඩම මේකයි: කෙනෙක්ගේ සාර්ථකත්වයක් දැකලා එයාට වඳින්න යන්නත් එපා, කෙනෙක්ගේ අසාර්ථකත්වයක් දැකලා එයාව පල්ලෙහාට දාලා විනිශ්චය කරන්න යන්නත් එපා. මොකද ඒ හැම ප්‍රතිඵලයක් පිටිපස්සෙම අපිට පේන්නේ නැති, අපි දන්නේ නැති වාසනාවේ හෝ අවදානමේ ලොකු අදෘශ්‍යමාන හස්තයක් වැඩ කරනවා. හැම සාර්ථකත්වයක්ම අසීමිත මහන්සියේම ප්‍රතිඵලයක් නෙවෙයි, වගේම හැම අසාර්ථකත්වයක්ම කම්මැලිකමේ ප්‍රතිඵලයකුත් නෙවෙයි.
ඒ නිසා, ධනවත් මිනිස්සු කරන හැමදේම ඒ විදිහටම කොපි කළාට ඔයාට ඒ ප්‍රතිඵලයම ලැබෙන්නේ නැහැ කියන යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ.
අවදානමක් ගන්න එකේ නියම තේරුම සහ ඒකට මුහුණ දෙන හැටි.
අපි සාමාන්‍යයෙන් 'අවදානමක් (Risk) ගන්නවා' කියලා කියන්නේ මොකක්ද? ගොඩක් වෙලාවට අපි හිතන්නේ නොදන්න බිස්නස් එකකට සල්ලි දාන එක, එහෙමත් නැත්නම් තියෙන රස්සාව දාලා අලුත් දෙයක් පටන් ගන්න එක වගේ දේවල් වලටයි. ඒ කියන්නේ අපි දැනුවත්ව කරන භයානක වැඩ වලට තමයි අපි 'අවදානම' කියලා කියන්නේ.
හැබැයි මෝර්ගන් හවුසල් මුදලේ මනෝවිද්‍යාවෙන් පෙන්නලා දෙන 'අවදානම' ඊට වඩා ටිකක් වෙනස්. එයා කියන විදිහට අවදානම කියන්නේ, "ඔයාට පාලනය කරන්න බැරි, ලෝකේ සිද්ධවෙන වෙනස්වීම් ඇවිත් ඔයාගේ මහන්සියේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකටයි."
හිතන්න, ඔයා ගොඩක් මහන්සි වෙලා, හොඳට මාර්කට් රිසර්ච් (Market Research) එකක් කරලා, හරියටම හරියන ප්ලෑන් එකක් හදලා ලොකු ආයෝජනයක් කරනවා. තර්කානුකූලව බැලුවොත් ඔයාට 90% ක සාර්ථක වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඔයාගේ පැත්තෙන් ඔයා සේරම හරි. හැබැයි අර ඉතුරු 10% තියෙන්නේ ඔයාගේ පාලනයෙන් පිට. ඒ 10% තමයි 'අවදානම'. හදිසියේම ආණ්ඩුවෙන් අලුත් බද්දක් ගහනවා, නැත්නම් ලෝකේ වසංගතයක් එනවා. අර 10% ක්‍රියාත්මක වෙලා ඔයාගේ ආයෝජනය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.
මෙන්න මෙතනදි තමයි ගොඩක් අයට වැරදෙන්නේ. ප්‍රතිඵලය නරක වුණු ගමන්, අපි අපිවම විනිශ්චය කරන්න ගන්නවා. "මම මහ මෝඩයෙක්. මම ගත්තේ වැරදි තීරණයක්. මට මේවා කරන්න බැහැ" කියලා අපි මානසිකව වැටෙනවා. අනිත් අයත් කියන්නේ "අපි කිව්වනේ ඕක කරන්න එපා කියලා, ඔයාගේ තීරණේ වැරදියි" කියලා.
හැබැයි ඇත්තටම ඔයා ගත්තු තීරණය වැරදිද? නැහැ. ඔයා ගත්තේ ඒ වෙලාවේ හැටියට ඔයාට ගන්න පුළුවන් හොඳම, නිවැරදිම තීරණය. හැබැයි ප්‍රතිඵලය තීරණය වුණේ ඔයාගේ තීරණය මතම නෙවෙයි, අර කියපු 'අවදානම' කියන පාලනය කරන්න බැරි සාධකය මත.
එහෙනම් මේ යථාර්ථයට මුහුණ දෙන්නේ කොහොමද?
1. ඔබටම සමාව දෙන්න පුරුදු වෙන්න:
සල්ලි සම්බන්ධයෙන් ඔයා ගන්න තීරණයක් වැරදුණාම, ඒ හැමදේටම ඔයාම වගකියන්න ඕනේ නැහැ කියන එක මුලින්ම තේරුම් ගන්න. ලෝකේ බිලියන ගාණක් මිනිස්සු ඉන්න, එකිනෙකට සම්බන්ධ සංකීර්ණ ආර්ථිකයක් ඇතුලේ, හැමදේම ඔයා හිතන විදිහටම වෙන්නේ නැහැ. සමහරවිට ඔයා හරි තීරණයක් අරගෙනත්, අවදානම හරහා වැරදි ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ඒ නිසා වරදින වෙලාවට තමන්ටම දොස් පවරගන්න එක නවත්තන්න.
2. තනි පුද්ගලයන්ව කොපි කරන එක නවත්තන්න:
අපි ගොඩක් වෙලාවට කරන්නේ කෝටිපතියෙක් කරපු දෙයක් ඒ විදිහටම කොපි කරන්න හදන එක. "එලොන් මස්ක් (Elon Musk) සල්ලි ඔක්කොම එකම බිස්නස් එකකට දැම්මා, මමත් එහෙම කරනවා" කියලා අපි හිතනවා. හැබැයි අපි දකින්නේ නැහැ ඒ විදිහටම ලොකු අවදානමක් අරන්, අන්තිමට පාරට වැටුණු තව ලක්ෂ ගාණක් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියන එක. ඒ නිසා තනි පුද්ගලයෙක්ව කොපි කරනවාට වඩා, සාර්ථකත්වයේ 'පොදු රටාවන්' (Patterns) අනුගමනය කරන්න. (උදාහරණයක් විදිහට: තමන්ගේ ආදායමට වඩා අඩුවෙන් වියදම් කරන එක, හැම සල්ලිම එකම තැනක ආයෝජනය නොකරන එක වගේ පොදු පුරුදු).
3. අවදානමට ඉඩක් තියලා ගේම් එක ගහන්න (Margin of Safety):
අවදානම කොයි වෙලාවේ කොහෙන් එයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා, වරදින වෙලාවට පාරටම වැටෙන්නේ නැති වෙන්න, හැමවෙලේම ආරක්ෂිත දැලක් (Safety net) තියාගන්න. අතේ තියෙන අන්තිම සතේට වෙනකන් ආයෝජනය කරන්නේ නැතුව, හදිසියකට ගන්න කීයක් හරි ඉතුරු කරලා තියන්න.
සැබෑ මූල්‍ය ලෝකයේදී, අවදානමට මුහුණ දෙනවා කියන්නේ බය නැතුව ඇස් පියාගෙන ලොකු තීරණ ගන්න එක නෙවෙයි. අවදානම කියන්නේ ඕනෙම වෙලාවක මතුවෙන්න පුළුවන් දෙයක් කියලා තේරුම් අරගෙන, ඒක ආවත් ආයේ නැගිටින්න පුළුවන් විදිහට බුද්ධිමත්ව තමන්ගේ මුදල් සැලසුම් කරගන්න එකයි.
අනුන්ගේ සාර්ථකත්වය දැකලා අපි රවටෙන විදිහ.
ඔයා කවදාහරි පත්තරේක හරි අන්තර්ජාලයේ හරි මෙන්න මේ වගේ ආටිකල් දැකලා තියෙනවද? "ලෝකයේ සාර්ථකම කෝටිපතියන්ගේ උදෑසන පුරුදු 5", එහෙමත් නැත්නම් "ඊළඟ ස්ටීව් ජොබ්ස් (Steve Jobs) වෙන්න නම් මේ දේවල් අනුගමනය කරන්න". අපි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් දැක්කාම, ඒ කියන දේවල් අකුරටම කොපි කරලා ඒ අය වගේම සාර්ථක වෙන්න උත්සාහ කරනවා. කෝටිපතියෝ පාන්දර 4ට නැගිටිනවා කිව්වොත් අපිත් පාන්දර 4ට නැගිටිනවා. එයාලා කැම්පස් එකෙන් අයින් වෙලා බිස්නස් පටන් ගත්තා කිව්වොත් අපිත් ඒ අවදානම ගන්න හදනවා.
හැබැයි මෝර්ගන් හවුසල් අපිට මතක් කරලා දෙනවා, අපි මේ කරන්න හදන්නේ ලොකුම ලොකු රැවටීමකට අහු වෙන එක කියලා.
ඇයි එහෙම කියන්නේ? මේකට මනෝවිද්‍යාවේ කියනවා 'Survivorship Bias' (දිවි ගලවා ගත් අයගේ කතාව විතරක් ඇසීම) කියලා.
මේක සරලවම මෙහෙම තේරුම් ගන්නකෝ. හිතන්න, මොකක්හරි අලුත්, ලොකු අවදානමක් තියෙන බිස්නස් අදහසක් (Idea එකක්) ක්‍රියාත්මක කරන්න තරුණයෝ 100 දෙනෙක් ඉදිරිපත් වෙනවා. මේ 100 දෙනාම එකම විදිහට මහන්සි වෙනවා, රෑ දවල් නැතුව වැඩ කරනවා, තමන්ගේ සේසතම මේකට වියදම් කරනවා.
හැබැයි මේ 100 දෙනාගෙන් 99 දෙනෙක්ටම හරියන්නේ නැහැ. එයාලගේ බිස්නස් බංකොලොත් වෙනවා. සමහරවිට එයාලා මහන්සි වුණාට වෙළඳපොලේ තත්ත්වය වෙනස් වෙනවා, නැත්නම් නීතිමය ප්‍රශ්නයක් එනවා (අර කලින් කතා කරපු අවදානම - Risk එක එයාලට බලපානවා). හැබැයි මේ 100 දෙනාගෙන් එක්කෙනෙක්ට (1 කෙනෙකුට) වාසනාව (Luck) හරියටම පෑදෙනවා. එයා අර කවුරුත් නොහිතපු වෙලාවක ලෝක කෝටිපතියෙක් වෙනවා.
දැන් මොකද වෙන්නේ? සඟරා වලින්, ටීවී චැනල් වලින්, යූටියුබ් එකෙන් ඉන්ටවිව් (Interview) කරන්නේ අර සාර්ථක වුණු එකම එක්කෙනාව විතරයි. එයා ඇවිත් පොත් ලියනවා "මම කිසිම දේකට බය වුණේ නැහැ, මම ලොකු අවදානමක් ගත්තා, මම කවදාවත් උත්සාහය අත්හැරියේ නැහැ. ඔයාලත් බය නැතුව අවදානම් ගන්න" කියලා.
අපි අහන්නේ අර සාර්ථක වුණු කෙනාගේ කතාව විතරයි. අපි දකින්නේ නැහැ, එයා ගත්තු අවදානමම අරගෙන, එයා වගේම මහන්සි වෙලා, අද පාරට වැටිලා ඉන්න අර අනිත් 99 දෙනාව. ඒ 99 දෙනා ගැන කවුරුවත් පොත් ලියන්නේ නැහැ, එයාලා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අන්න ඒකයි අපි රවටෙන්නේ. අපි හිතනවා අවදානමක් ගත්තු ගමන් සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. අපි දකින්නේ නැහැ ඒ සාර්ථකත්වය පිටිපස්සේ අර පුද්ගලයාට නොපෙනෙන 'වාසනාව' කොච්චර ලොකු කාර්යභාරයක් කළාද කියන එක.
කතුවරයා මෙතනදි අපිට දෙන වටිනාම උපදෙස තමයි, අතිශය සාර්ථක වුණු, ධනවත් වුණු "තනි පුද්ගලයින්ව" (Extreme Individuals) කොපි කරන එක නවත්තන්න කියන එක.
වොරන් බෆට්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස් වගේ අය කියන්නේ මේ ලෝකේ ඉන්න අතිශය දුර්ලභ, බිලියන ගාණකින් එකකට විතර සිද්ධ වෙන කතා (Extreme cases). ඒ අයගේ දක්ෂතාවය වගේම, එයාලා ඉපදුණු කාලය, එයාලට හම්බවුණු මිනිස්සු, ඒ වෙලාවේ ලෝකේ තිබුණු තාක්ෂණය කියන අතිවිශාල වාසනාවන් ගොඩක එකතුවක් තමයි ඒ දැවැන්ත සාර්ථකත්වය. ඒ අය කරපු දේ ඔයා ඒ විදිහටම අකුරටම අද කළොත්, ඔයාට ඒ සාර්ථකත්වයම ලැබෙයි කියලා හිතන එක මුලාවක්.
එහෙනම් අපි කාගෙන්ද ඉගෙනගන්න ඕනේ?
අපි ඉගෙන ගන්න ඕනේ තනි තනි පුද්ගලයින්ගේ අසාමාන්‍ය කතා වලින් නෙවෙයි. අපි අවධානය දෙන්න ඕනේ 'පොදු රටාවන්' (Broad Patterns) වලට.
- "උදේ 4ට නැගිටින, ඇපල් කන කෙනෙක් කෝටිපතියෙක් වෙනවා" කියන එක පොදු රටාවක් නෙවෙයි. ඒක අහම්බයක්.
- හැබැයි, "තමන්ගේ ආදායමට වඩා අඩුවෙන් වියදම් කරන, ඉතිරි කරන සල්ලි එක දිගට ආයෝජනය කරන, තමන්ට පාලනය කරන්න බැරි ණය ගන්නේ නැති මිනිස්සු කාලයත් එක්ක මූල්‍ය නිදහස (Financial Freedom) ලබාගන්නවා" කියන එක පොදු රටාවක්. ඒක ලෝකේ ඕනෙම කෙනෙකුට, ඕනෙම කාලෙක අදාළ වෙනවා. වාසනාව අඩු වුණත් ඒකෙන් ප්‍රතිඵල තියෙනවා.
ඉතින්, අනුන්ගේ බැබළෙන සාර්ථකත්වයන් දැකලා රවටෙන්න එපා. ඒ හැම ලස්සන කතාවක් පිටිපස්සෙම නොපෙනෙන වාසනාවක් තියෙන්න පුළුවන් වගේම, එහෙම කරන්න ගිහින් අසාර්ථක වෙච්ච දහස් ගාණක් මිනිස්සුන්ගේ නොඇසෙන කතා ඒ පිටිපස්සේ හැංගිලා තියෙනවා. ඔයාගේ මූල්‍ය ගමන ඔයා යන්න ඕනේ ඒ යථාර්ථය හොඳින් තේරුම් අරගෙනයි.
බිල් ගේට්ස්ගේ ජීවිත කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය සහ වාසනාවේ කොටස.
බිල් ගේට්ස් (Bill Gates) කියන නම ඇහුණු ගමන් අපිට මතක් වෙන්නේ මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සහ ලෝකයේ හිටපු ධනවත්ම මනුස්සයෙක්ව. එයාගේ සාර්ථකත්වයට හේතුව මොකක්ද කියලා ඇහුවොත් අපි ඕනෙම කෙනෙක් කියන්නේ "එයාගේ තියෙන අසාමාන්‍ය මොළය, දක්ෂතාවය සහ රෑ දවල් නැතුව කරපු මහන්සිය" කියලයි. ඒක 100% ක්ම ඇත්ත. හැබැයි මෝර්ගන් හවුසල් අපිට මේ පොතෙන් පෙන්නලා දෙනවා බිල් ගේට්ස්ගේ කතාව පිටිපස්සේ හැංගිලා තියෙන ලොකුම රහස... ඒ තමයි 'අතිවිශාල වාසනාව'.
මේක තේරුම් ගන්න අපි 1968 අවුරුද්දට යන්න ඕනේ. ඒ කාලේ අද වගේ ගෙයක් ගෙයක් ගානේ කොම්පියුටර්ස් තිබුණේ නැහැ. මුළු ලෝකෙටම තිබුණේ ලොකු විශ්වවිද්‍යාල වල සහ පර්යේෂණාගාර වල තිබුණු දැවැන්ත කොම්පියුටර් කිහිපයක් විතරයි.
හැබැයි බිල් ගේට්ස් ඉගෙන ගත්තේ ඇමරිකාවේ 'ලේක්සයිඩ්' (Lakeside School) කියන ඉස්කෝලේ. මේ ඉස්කෝලේ හිටපු අම්මලා තාත්තලා ටිකක් එකතු වෙලා සල්ලි දාලා, ඉස්කෝලෙට අලුත්ම අලුත් කොම්පියුටර් එකක් අරන් දෙනවා. මතක තියාගන්න, මේ 1968 අවුරුද්ද. ඒ කාලේ කැම්පස් යන ළමයින්ටවත් කොම්පියුටර් එකක් දැකගන්න ලැබුණේ නැහැ.
දැන් අපි පොඩ්ඩක් ගණන් හදලා බලමු:
- 1968 වෙද්දී ලෝකේ වයස අවුරුදු 13-14 වගේ පාසල් යන ළමයි මිලියන 300ක් විතර හිටියා.
- ඒකෙන් මිලියන 18ක් විතර හිටියේ ඇමරිකාවේ.
- ඒකෙන් ලක්ෂ 2ක් විතර හිටියේ වොෂින්ටන් ප්‍රාන්තයේ.
- ඒ ලක්ෂ 2කෙන්, ලේක්සයිඩ් ඉස්කෝලේ හිටියේ ළමයි 300ක් විතරයි.
ඒ කියන්නේ, ලෝකේ හිටපු මිලියන 300ක් ළමයි අතරින්, කොම්පියුටර් එකක් පාවිච්චි කරලා ඒකේ කෝඩින් (Coding) ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ අර ළමයි 300ට විතරයි. බිල් ගේට්ස් කියන්නේ ඒ 300න් කෙනෙක්. එයාට ලැබුණේ මිලියනයකින් එක්කෙනෙකුට විතර ලැබෙන අතිවිශාල වාසනාවක්. මේ ගැන බිල් ගේට්ස්ම එක තැනකදි මෙහෙම කියනවා: "ලේක්සයිඩ් ඉස්කෝලේ නොතිබුණා නම්, අද මයික්‍රොසොෆ්ට් කියලා එකක් නැහැ."
කෙන්ට් එවන්ස්: අවදානමේ කතාව (The Hidden Risk)
හැබැයි මේ කතාවේ අපි ගොඩක් අය අහලා නැති, මේ පොතෙන් මතු කරලා පෙන්නන අනිත් පැත්තක් තියෙනවා. බිල් ගේට්ස්ට මේ ඉස්කෝලෙදි හම්බවෙනවා එයාගේ හොඳම යාලුවා. එයාගේ නම කෙන්ට් එවන්ස් (Kent Evans).
කෙන්ට් එවන්ස් කියන්නෙත් බිල් ගේට්ස් වගේම, සමහරවිට ඊටත් වඩා දක්ෂ, කොම්පියුටර් වලට පිස්සු වැටිච්ච ළමයෙක්. මේ දෙන්නා ඉස්කෝලේ ඇරුණාම රෑ වෙනකන් කොම්පියුටර් එක ඉස්සරහා කෝඩ් කරනවා. දෙන්නා එකතු වෙලා අනාගතේ ලොකු කොම්පියුටර් කම්පැනියක් පටන් ගන්න ලොකු හීන දැක්කා, ප්ලෑන් හැදුවා. බිල් ගේට්ස්ගේ ඒ කාලේ හිටපු එකම බිස්නස් පාට්නර් (Business Partner) වුණේ කෙන්ට්.
හැබැයි, කෙන්ට් එවන්ස් කවදාවත් මයික්‍රොසොෆ්ට් එකේ නිර්මාතෘවරයෙක් වුණේ නැහැ. ඇයි ඒ?
ඉස්කෝලෙන් අයින් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, කෙන්ට් එවන්ස් කන්දක් නගින්න ගිහින් සිද්ධවෙන අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙනවා. පාසල් යන වයසේ ළමයෙක් කන්දක් නගින්න ගිහින් මැරෙන්න තියෙන සම්භාවිතාවයත් අර කලින් කිව්වා වගේම මිලියනයකින් එකක් විතර වෙන අතිශය කලාතුරකින් වෙන දෙයක්.
ඔන්න බලන්න ජීවිතේ හැටි! බිල් ගේට්ස්ට මිලියනයකින් එකක් වෙන 'වාසනාව' (Luck) වැඩ කරද්දී, එයා වගේම දක්ෂ, එයා වගේම මහන්සි වෙච්ච එයාගේ යාලුවා කෙන්ට් එවන්ස්ට මිලියනයකින් එකක් වෙන 'අවදානම' (Risk) වැඩ කළා. මේ දෙන්නම එකම දේ කළේ, හැබැයි දෙන්නට ලැබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිඵල දෙකක්.
මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය මොකක්ද?
1. සාර්ථක වෙද්දී නිහතමානී වෙන්න: ඔයා කොච්චර දක්ෂ වුණත්, ඔයාගේ සාර්ථකත්වය පිටිපස්සේ ඔයාට පාලනය කරන්න බැරි, අහම්බෙන් ලැබුණු 'වාසනාවේ' කොටසක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා කවදාවත් "මම තමයි වැඩ්ඩා, මේ ඔක්කොම මගේ හැකියාව" කියලා අහංකාර වෙන්න එපා.
2. අසාර්ථක වෙද්දී තමන්ටම සාධාරණ වෙන්න: ඔයා ඔක්කොම දේවල් හරියට කරලත් බිස්නස් එකක් හරි ආයෝජනයක් හරි වැරදුණොත්, ඔයා වැඩකට නැති කෙනෙක් කියලා හිතලා මානසිකව වැටෙන්න එපා. සමහරවිට එතනදි ක්‍රියාත්මක වෙන්න ඇත්තේ ඔයාට පාලනය කරන්න බැරි 'අවදානම' වෙන්න පුළුවන්. ඒකට මුහුණ දීලා ඊළඟ පියවර තියන්න.
ජීවිතේ කියන්නේ ඔයාගේ මහන්සියයි දක්ෂතාවයයි විතරක් තීරණය කරන දෙයක් නෙවෙයි; වාසනාව සහ අවදානම කියන අදෘශ්‍යමාන බලවේග දෙකත් ඒ ගේම් එකේම කොටසක්!
##