අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ එකම එක කතාවක්. "හොඳට ඉගෙන ගන්න, කැම්පස් යන්න, ස්ථිර රස්සාවක් හොයාගන්න, පඩියෙන් කොටසක් ඉතුරු කරන්න, වයස 65ක් වෙලා විශ්‍රාම ගියාට පස්සේ සතුටින් ඉන්න පුළුවන්." මේක තමයි සමාජය අපිට බලෙන් දීපු 'සාර්ථකත්වයේ සිතියම'. හැබැයි මේ සිතියම පාවිච්චි කරලා ඇත්තටම තරුණ කාලේදීම ධනවත් වුණු, ජීවිතේ උපරිම නිදහසක් භුක්ති විඳින කී දෙනෙක්ව ඔයා දැකලා තියෙනවාද? බහුතරයක් කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් මැරීගෙන වැඩ කරලා, තමන්ගේ කාලය සල්ලි වලට විකුණලා වෙන කෙනෙක්ගේ හීන හැබෑ කරන එකයි.
MJ DeMarco ගේ "The Millionaire Fastlane" කියන්නේ අන්න ඒ සමාජය අන්දපු බොරු සිතියම ඉරා දාපු, මගේ ජීවිතය සහ සිතීමේ රටාව සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ කෘතියක්. වෘත්තීය සංවර්ධන ක්ෂේත්රයේ (Career Development) නියැලෙමින්, දහස් ගණනක් වෘත්තිකයින්ට තම වෘත්තීය ගමන සාර්ථක කරගන්නට මඟපෙන්වන අතරතුර මට එක දෙයක් ඉතා තදින්ම පැහැදිලි වුණා. ඒ තමයි, අපිට කොච්චර දක්ෂතා තිබුණත්, අපි තාමත් හිරවෙලා ඉන්නේ අපේ කාලය හා ශ්‍රමය මත යැපෙන 'මන්දගාමී පාරේ' (Slowlane) කියන එක.
නියම ධනය නිර්මාණය වෙන්නේ තමන්ගේ කාලයට සීමා නොවී, එකවර දහස් ගණනකගේ ප්‍රශ්න විසඳන පද්ධති (Systems) සහ වේදිකාවන් ගොඩනැගීමෙන් බව මේ පොත මට කියා දුන්නා. අද වන විට තාක්ෂණයත් සමඟ, නිවැරදි ඉලක්කයක් ඇත්නම්, සාමාන්‍ය තරුණයෙකුට වුවද දැවැන්ත වටිනාකමක් නිර්මාණය කළ හැකි ඩිජිටල් වේදිකාවන් ගොඩනැගිය හැකි බව මා මගේ ගමන තුළින්ද ප්‍රායෝගිකව අත්දැක තිබෙනවා.
නමුත් අපේ රටේ තරුණ පරපුරට මේ අමිල දැනුම, මේ යථාර්ථය සිංහල භාෂාවෙන් හරියාකාරව ලැබෙන්නේ නෑ. ගොඩක් අය තාමත් තමන්ගේ ව්‍යාපාරික අදහස් හංගගෙන, ක්‍රියාත්මක වෙන්නේ නැතුව (Execution) කාලය නාස්ති කරනවා. ඒ නිසයි මම තීරණය කළේ, කතුවරයාගේ ඒ විප්ලවීය දර්ශනය ලාංකේය ප්‍රායෝගික වටපිටාවට සහ වර්තමාන තාක්ෂණික ලෝකයට ගැළපෙන අයුරින් මේ ආකාරයට ඔබ වෙත ගෙන එන්නට.
මේ පොත නිකම්ම කියවලා පැත්තකින් තියන්න පුළුවන් සාම්ප්‍රදායික කතාවක් නෙවෙයි. මේක ඔයාගේ ඔළුවට ගහලා, ඔයාව අවදි කරලා, පරණ ක්‍රම අතහැරලා වහාම ක්‍රියාත්මක වෙන්න බල කරන ප්‍රායෝගික මාර්ගෝපදේශයක්.
ඔබේ ජීවිතයේ සහ ව්‍යාපාරයේ සුක්කානම ඔබේ අතටම ගන්න දැන් කාලය ඇවිත්. මන්දගාමී පාරෙන් එළියට බැහැලා, වේගවත් පාරේ (Fastlane) යන මේ විප්ලවීය ගමනට මම ඔබට සාදරයෙන් ආරාධනා කරනවා!
- චානුක ජීවන්ත
(Career Development Specialist)